Friday, August 26, 2011

මිතුරා...

මා මේ e අවකාශයේ මහා පතාකයෙකු නොවන නිසා මේ blog කරලිය සමග වැඩි ඇයි හොඳැයියක් පවත්වන්නට එතරම් උනන්දුවක් නොදැක්වූවෙමි.

ඒත් මේ වූ නිදහස් අවකාශයේ මාහට දෙයක් කීමට ඇතැයි යන හැඟීම දැනුන නිසාවෙන් මේ සටහන තබමි...

හිරාන්.. මට මගේ ජීවිතයේ හමුවූ සුන්දරම මිනිසුන් දෙදෙනාගෙන් අනෙකා වෙයි. ඔහු ගේ ගුණ මා මෙතැන නොලියමි. ඔබ හොඳ මිතුරෙකු පමණක් නොව සදාදර සොහොයුරෙකු‍ගේ හැඟීමත් මට ගෙනාවා...

Friday, August 5, 2011

අතැර නොගිය හැරමිටිය....

ස්ථානය : මහනුවර ප්‍රධාන රේල් ගේට්ටුව අසල

තරමක වැහිබර දිනයක් වූ එදා මම මගේ ප්‍රිය ආදරවන්තිය බලා මගේ ගමට යන්නට මහනුවර බස් නැවතුම් පොල වෙත පැමිණියෙමි. අම්පාර නගරාන්තර හෙමින් දුවන බසයක් එනතුරු වේදිකාවේ සිටිමුත් එනපාටක් නැති නිසා ටිකක් විපරම් කළෙමි... අද නම් බස් අඩුයි මහත්තයෝ... ටිකක් ඉස්සරහට ගියොත් ..... බස් 1ක එනවා නැග ගන්න පුළුවන් වෙයි.. ඒ ධාවක සටහන් පත් පරීක්ෂක මහතාගේ හඩයි... ඉල්ලගෙන කන්න ඕන නැති නිසා මම ඒ වදන් ඔස්සේ බෝගම්බර පිට්ටනිය පැත්තට යන්නට ආපසු හැරී ආවෙමි... ඒ ලගපාතදී බසය නවත්වා ගැනීමට පහසු නිසාවෙනි... තැපැල් කාර්යාලයට කිට්ටු කරන විටම කඩන් පාත්වුනානේ මෙච්චර වෙලා තදකරගෙන හිටපු වැස්ස...

හැකි ඉක්මනට ඇවිද ගියේ සිදුවූ මාරක රිය අනතුරෙන් පසු  මට මගේ දකුණු පාදය තවමත් රිසි සේ හැසිරවිය නොහැකි නිසාවෙනි... අදටත් එවන් අවස්ථාවල(කඩිමුඩියේ ඇවිද ගන්න නොහැකි වන) ඒ රියැදුරුගේ නාසයේ දැවිල්ලක් ඇති වෙනවා නොඅනුමානය....

ටකරන් ගැසූ දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලම මාර්ග බාධකය උඩ පහත යවන හා දුම්රිය පීලි සීරුමාරු කරන ස්ථානයට ගොඩවූවෙමි... වැස්සෙන් බේරෙන්නට එතැනට ගොඩවූ  අම්මා කෙනෙකු හා සිටියේ මා පමණි.... ඉඩකඩ මහවට නැති නිසා සිනහවෙන්ම දෙදෙනා දැන ඇදින ගතිමු...

මද වේලාවක් පැවති තද වර්ෂාව ඔන්න ටිකක් අඩු කලා... මගේ ඇස් වැස්සේ වුවද දිශාගත වී තිබුණේ බෝගම්බර පැත්තටයි... ඒ බසයක් ආවොත් වැස්ස පැත්තක තබා එයට ගොඩ වෙන්නට සැරසෙන්න උවමනා නිසාවෙනි... ගතවූයේ තත්ත්පර දශමෙන් එකකි.. මගේ ඇස් නැවතුනේ...... අදටත් මේ මොහොතේත් මට ඒ මහා වේදනාවක් මුසු වූ හැගීම දැනෙනවා දැනෙනවා වාගෙයි.... තම ශරීරය තමාට අවනත කර ගැනීමට නොහැකි ලෙස වෙව්ලමින් මා සිටන දිශාවට එන තරුණයෙකි... වැස්සට ඔහු තෙත බරිත වෙලා... ඉදිරියට එන ඔහුගේ පපු පෙදෙසට වන්නට එල්ලා ගත් තරමක බෝඩ් කෑල්ලකි... මගේ ලගට එන විටම ඔහුව වත්තම් කිරීමට මා කෙසේ ඒ වැස්සේ ඉදිරියට ගියාද කියා මා වත් නොදනී..... දෙන්නම හොදහැටි තෙමීගෙන නැවත අර ටකරන් මඩුව වෙතටම පැමිණියෙමු.. සැබැවින්ම ඔහු තරුණයෙකි... ප්‍රසන්න පෙනුමකින් යුතු අයෙකි.. බැලූ බැල්මෙන්ම බොරුකාරයෙකු නොවන වග නම් මට දැණින...

මගේ ඇස් නතරවුනේ ඔහුගේ බෝඩ් කෑල්ල වෙතයි.... මම නමින් ......... (එය මා මෙතැන සදහන් නොකරමි) වන අතර, මම සංගීත ගුරුවරයෙක්මි.. ගම ගම්පහ වේ.. ඔය ටිකට අමතරව තවත් එක වැකියක් ලියා තිබුණත් මා එය මෙතැන සටහන් නොකරන්නේ.. ඔබට මොහු කොතැනක හෝ හමුවුවොත් ඔබද කරන වැඩේ මොහොතකට නවතා ඔහු දෙස බලනු ඇතැයි යන විශ්වාසයෙනි.....

තෙමුණු හිස කෙස් අතරට අතයවා වතුර ගසා දමන ගමන් මම කතාව ඇරඹුවෙමි.... ඔහු හොදටම තෙත බරිත වී සිටි අතර ඔහු සිය වෙවිලීම දරා ගන්නට දරන වෑයම මහත් දුකකින් මා දරා ගත්තේ.. පිරිමියෙකු යන ලේබලය නොදැනුවත්වම මටත් ඇලවී තිබූ නිසාවෙනි.. නැත්නම් ඇත්තටම කෑ ගසා අඩන්නට තරම් හැගීමක් මට දැනටත් ඇතිවේ... ඒ තවත් ජීවිතයක් මගේ දෑස් ඉදිරියේම මහා වූ දුකක් විදිවන අයුරු පෙනෙන නිසාවෙනි.... දරාගත නොහැක... අනේ අම්මෙකුගේ ආදරය එලියට ආවේ විදුලි සැරයක වේගයෙනි... මගෙත් එක්ක ටකරන් මඩුවට මුලින් ගොඩවැදුනු ඒ අම්මා කදුලු පුරෝ ගත් දෑසින් සිය සාරි පොටින් අර තරුණයාගේ හිසත් මුහුණත් කිසිම ලෝභ කමකින් තොරව පිස දමමින් කොහෙද පුතේ මේ වැස්සේ මෙහෙම යන්නේ... යැයි ඇසුවාය.... ඇයට නොදැනීම කදුලු ගෙඩි එකා පසු කර දිවෙන්නට සැරසුනු තරගකරුවන් මෙන් ලහි ලහියේ ඇයගේ දෑසින් පැන දුවති.......

ඔහු හඩ අවදි කලේය.. අම්මේ මම ගම්පහට යන්න බස් එකකට නගින්න ආවේ... වැස්ස නිසා මට මොකුත් කර ගන්න බැරිවුනා... සමහරු දැකලා යන ගමන් අනේ සොරි මල්ලි.. වැස්සක් එනවා ගහක් යටට වත් වෙල ඉන්න කියලත් කිව්වා.. ඒත් තව ටිකකින් බස එක තියෙනවා අම්මේ... මම කොහොම හරි ඒකට යන්න ඕනි.... රෑ වෙන්න කලින යන්නත් ඕන... දුව මගේ අම්මා ගාව... යැයි කීවේය.. දෙවියනේ මට ඉබේටම මුවින් පිටවුනි... එකා දෙන්නා අප වටේ රොක් වූයේත් මේ අතරෙදීය... වැස්ස පිනි කුඩු හලන තරමට අඩු වී ඇත.... ඒ කියන්නේ ඔයාට දුවෙක් ඉන්නවද...? ඒ මමය... මුවට නගාගත් දුකක් ඇති නොපෙන්වන සිනහවක් සමග ඔහු සිය කතාව ආරම්භ කලේය.. ඔව්.. මට අවුරුදු 30යි... පාසැල් සංගීත ගුරුවරයෙක් විදිහටයි සේවය කලේ... දිනක් සංගීත පන්තියක් ඉවර කරලා එනකොට ටිපර් එකක් පිටිපස්සෙන් ඇවිත් මගේ බයික් එකේ හැපුනා... එච්චරයි දන්නේ.... දින ගාණකට පස්සේ සිහිය එනකොට මගේ අම්මයි නංගියි මගේ ඇද ගාව ඉන්නවා මගේ දුවත් තුරුලු කරගෙන... එච්චරයි පළවෙනි දවසටම මතක... ඊට දින පස්සේ දවසක අම්මා ආපුවහම මම ඇයි......... ආවේ නැත්තේ දුවත් එක්ක එන්න අමාරු නිසා නැවතුනාද..? කියලා අම්මාගෙන් ඇහුවාම එයා මොකුත් කිව්වේ නැහැ.... ඒත් පස්සේ මම දැන ගත්තේ.. මට සිහිය ආවත් මගේ ස්නායු පණ නැතිවේන්න තියෙන ඉඩ වැඩියි කියලා දොස්තර මහත්තයා කිව්වලු.... සදාකාලයටම ඇවිද ගන්න බැරිවෙයි කියලත් කිව්වලු.... ඒක අහපු දවසට පස්සේ දවසේ ඉදන්......... දුවවත් දාලා යන්න ගිහින් තිබුණා... දැන් දුවට මාස 11යි... මට කන්න නැතත් එයාට බොන්න පිටි පැකට් එකක් හරි ගන්න ඕනි නිසයි මෙහෙම බස්වල ඇවිත් ටවුමකින් කීයක් හරි ඉල්ලා ගන්නේ... මොකද මගේ අම්මවයි නංගිවයි බලා ගත්තෙත් මම නිසා මට ඒ දෙන්නට සලකන්නත් ඕනි නේ.. නංගි නම් දැන් මාස 03කට කලින් කසාද බැන්දා.. දැන් ඉන්නේ මගේ අම්මයි.. මගේ දූ පැටියයි විතරයි... කදුලු පිරුණත් නොවට්ටා ගැනීමට හැමෝම දරන වෙහෙස ඉතිං මම ඔබට කියන්නට ඕනෑ නෑනේ.... ඔහු දිගටම කතාව කරගෙන යයි... මම කොහොම හරි ඇවිදිනවා මහත්තයෝ....මට ඒක කරන්න බැරි වුනත් මම අඩි දෙකක් ගිහින් නැවති නැවතී හරි මගේ කෙල්ලට කවනවා ..... මට කතා කරන්න අමාරුයි.. ඇත්තකි.. ඔහු වචන ගලපා ගන්නට මහත් උත්සහයක් දරන බව මටද පසක් වූ කරුණකි...
ඒ නිසයි මේ කොලයක ලියලා එල්ලගෙන යන්නේ.. ගම්පහ ඉදන් එන බස්වල අයියලා මාව හොදට දන්නවා.. එයාලා මාව පරිස්සමට එක්කගෙන යනවා... මට පුළුවන්නම් බස් එක තියෙන තැනට ගිහින් දාන්න පුළුවන් වෙයිද....? මුළු දවසම හිටියත් හම්බුනු ටික පරිස්සම් කර ගන්න ඕනි නිසා ත්‍රී වීල් එකක්වත් ගත්තේ නැහැ මම...

කසුකුසුව වැඩි බව දැනුනේ එවිටයි ඔන්න.. සෙනග වට වී ඇත.... ඇත්තටම හිත උනුවන මිනිසුන් ඇත්තේ පොළොවේ පය ගහපු සමාජයේමයි.... එතැන සිටියේ පදික වෙළදුන් කිහිප දෙනෙකි.. කොණ්ඩා වවාගෙන, විවිධ විලාසිතාවන්ට පච්චා කෙටූ සහෝදරයන් රොත්තක් එහි විය... සම්මාදමක් ලහිලහියේ සිදුවිය... නොහිතාම මාද එයට පූර්ණ ලෙසම දායක වුණි.... ටැන්කියූ සර්.... ඒ ඉතිං ඇපල් විකුණන ඇපල් චැපල්ගේ හඩයි.... චැපල්ගේ නම චමෝද් වූ අතර, ඔහුව මා පාසැල් යන අවදියේ පටන් දන්නා අයෙකු වූයේ ඕනෑම වලියකදී ගුටිකන එකාගේ පැත්තට කතා කරන හිත හොද එකෙකු වූ බැවිණි........ එකතු වූ මුදල ඔහුටද සිතා ගත නොහැකි තරමි විය... එසැනින්.. හරි නගින්න මම ගිහින් දාන්නම් බස්එක ගාවටම ඒ ත්‍රී වීල් කාරයෙකි..... එසේ ඇමතුවද ඔවුන් ඒ අවස්ථාවේදී එකා මෙන් එකට උදව් කලේ තමන්ද වේලක් සොයාගන්නේ කෙලෙසදැයි දහසක් ප්‍රශ්න මැද්දේ ගත කරනවුන් බව මදකට පසෙක තබමිනි.....

මේ සිදුවීම් සියල්ලම සිදුවීමට විනාඩි 20ක් පමණ ගත වුනත් මට බසයක් පැමිණියේ නැත.... එනිසාම ආපසු පෙම්බරියගේ නිවෙසට යන්නට සැරසුනු විට මා දැක්කේ... ආදරය කෙරූ එතන සිටි අම්මාද පදික වෙළෙන්දියෙකි... තම දොඩම් මල්ල එලියට ගනු දුටු මා ඇය දෙස මද වේලාවක් පාෂාණ භූතීව බලා සිටියේ.... හොද හිත් ඇති මිනිසුන් සියල්ල පාරට වැටී ඇත්තේ.... හිත හොද වැඩි කම නිසාමද යන ප්‍රශ්නයෙනි.......