Tuesday, June 28, 2011

රාජ්‍ය සේවය හා විද්‍යුත් තැපෑල

මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම නගරයක්ම අන්තර්ජාල පහසුකම් සහිත ප්‍රදේශයන් බවට පත්වී හමාරය. මෙකී වූ සෑම ප්‍රධාන නගරයකම රජයේ හා පුද්ගලික අංශයේ විවිධ වූ කාර්යාල පිහිටුවා ඇත. පුද්ගලික අංශයේ බොහෝ ස්ථාන සඳහා අන්තර්ජාල සබඳතාවය ලබාගෙන ඇත්තේ එහි වූ සුවිශේෂී සේවාව පිළිබඳ වූ දැනුමක් ඉහල නිලධාරීන් සතුව ඇති බැවිණි.

මා සඳහන් කරන්නේ සෑම රාජ්‍ය ආයතනයක් පිළිබඳව නොවන බවත් මුලින්ම ලිවිය යුතුමය. නමුත් මා සේවය කරන අමාත්‍යාංශයත් ඊට අයත් සෙසු ආයතන සියල්ලෙහිම මෙම සුවිශේෂී වූ නිර්මාණය ඇතිමුත් එහි වූ නිසි ඵල ලබාගැනීමට කිසිවෙකුත් උත්සහ නොකරනු දැකීමම මෙම රාජ්‍ය සේවය කෙරෙහි කලකිරීමක් නිරායාසයෙන් අපට දනවයි.

අප පරිගණක විෂයෙහි මහා පතාකයන් නොවුනත් කරන්නට හැකි යමක් ඇත. රටේ සංවර්ධන ක්‍රියාවලියට ඝෘජුවම දායක වන ස්ථාන මෙකී වූ තාක්ෂණය භාවිතා නොකරන්නේ ඇයි..?

අද වනවිට මා රාජ්‍ය සේවය හා බැඳී වසර 03ටත් වැඩිය. මෙතෙක් අප දන්නා දේ මෙහි වූ පිරිස් වෙත කෙසේ හෝ ලබා දෙන්නට ගත් උත්සාහය අප්‍රමාණය. එහි වූ ප්‍රතිඵලය ගැන මා පසුතැවෙන්නේ නැත. විවිධ වූ මිනිස් කුලකයේ අප මේ පවසන්නා වූ දෙය ග්‍රහණය කරගන්නේ විවිධ බුද්ධි මට්ටම් වලිනි.

මා එසේ කියන්නේ "මල්ලී ඊ මේල් එකක් දැම්මා ..... ලියුම මෙහෙම වෙන්න ඕනි...." කියා දීර්ඝ දුරකථන ඇමතුමක් ගෙන ආපසු අපවෙතම මුළු ලිපියම කියවන පිරිසක් තවමත් ඇති නිසාවෙනි....... රාජ්‍ය සේවය නවීකරණය කරන්නට ගොස් වත්මන් රජයත් පැවති රජයනුත් නට්ටම් වී ඇත්තේ දුරකථන සමාගම් සඳහාම වෙනම මුදලක් දැරීමට හේතුවූ නිසායැයි මට සිතේ.............

Thursday, June 23, 2011

උගතෙමි අලුත් දෙයක්...

"බසක් එක තැන පල් විය යුතු නැත; වෙනස් විය යුතු යි; අන් බස් වලින් සුදුසු ලෙස වදන් එක් කර ගත යුතු යි. එහෙත්, දියුණුව යනු හොඳ වදන් මරා දමා, ඒ වෙනුවට පර වදන් හිතූ මතයේ හිඟා කෑම නම් නොවේ!"

උපුටා ගැනීම :- හිතවත් අනුරාධ අයියාගේ 2008-06-28 වන දිනැති "පැහැදිලි කිරීමක් කලොත්...." ඇසුරිණි.


අපට කතා කරන්න පුලුවන් වෙච්ච දවසේ ඉඳන් (කතා කරන භාෂාවෙන් ලියනවාට සමාවෙන්න....) සිංහලේ හරි හැටි ‍තේරුම් ගන්න අමාරුයිනේ... ඒත් පාසැල් කාලයේ මව්බස ලෙසින් 02,03 හා 04 පංති වලදී අප උගත් විෂය මාලාව 05 වන ශ්‍රේණියෙන් පස්සේ සිංහල ලෙස වෙනස් වුනා මතකයි.

ඒත් මේ සිංහල විෂය 10 වන වසරේදී සිංහල සහ සාහිත්‍ය ලෙසින් දෙකඩ වූවාත් හොඳින් මතකයි. මගේ මේ ලිපිය කියවන මාගේ සමකාලීනයන් කීදෙනෙකුට අනුරාධ අයියා විසින් කියන මේ වටිනා භාෂාව පිළිබඳ ලියැවුණු "අමාවතුර" වැනි ග්‍රන්ත පිළිබඳ අපට 1997 වැනි වර්ෂ වලදීවත් මනා පැහැදිලි කිරීමක් අපේ ගුරුවරුන් අතින් සිදුකෙරුණිද යන්න දැන්නම් මට ප්‍රශ්නයක්.....

තාක්ෂණයට පිං සිදුවන්නට අපට අද අන්තර්ජාලය (ලහි තුරුදැල) (නැවත වතාවක් ජීවිතයේ වටිනාම විනාඩි කිහිපයක් ගෙවීගෙන යන හැඟීමක් මට ඇති ‍කෙරෙන්නේ තවත් අලුත්, කිසිසේත්ම ව්‍යවහාර භාෂාවේ මෙතෙක් නොයෙදුණු මේ අන්තර්ජාලය යන වචනයට දියහැකි සරල සිංහල වචනය අනුරාධ අයියාගේ දිනපොත තුලින් උගත් නිසාවෙනි.) නිසා මෙවැනි අපූරු සහෘදයන් හමුවීම, මා මිනිසත් බව ලැබීමේ කුමන හෝ කුසල කර්මයට තවත් වැඩි යමක් එක් කරතැයි මට හැඟේ.

තාක්ෂණයත් සමගම මිනිසා යොමුවන්නේ කුමන දිශාවකටද...? දැනුමැති මිනිසුන් සියල්ල අවශ්‍ය පරිදි යොදාගනී, එය තමන්ටත් අනෙක් සමාජයටත් වැඩදායී ලෙස යෙදවීමට මහත් වෙහෙසක් දරයි. එයට කදිම නිදසුනක් වන්නේ මා මුලින් උපුටා ගත් වැකියේ නිර්මාණ කරුවා වූ අනුරුද්ධ අයියා වැන්නවුන්ය. කෙනෙකුගේ දිනපොතක් කිසිවෙකු කියවන්නට නොයන්නේ අතිශ්‍ය ‍පෞද්ගලික කරුණු එහි ඇති නිසාවෙනි. ඒ තැනදී මමත් වරදක් කර ඇත්දැයි යන්න මටත් ප්‍රශ්නයක් වූ නමුත් සටහන් කිහිපයක් මාගේ දිනපොත (තාක්ෂණයේ දායාදයක් වූ blog) භාවිතා කොට තබන්නට සිත්වූයේ මා අද උගත් දෙය ඒ අපූර්ව වූ මිනිසා ශ්‍රී ලංකාවට දායාද කර තිබුණේ මීට අවුරුදු 03ට පෙරය.

අවුරුදු කිහිපයකට පෙර ඒ ගත්තා වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලැබුණත් නොලැබුණත් ඔහු නිහතමානීව එය භරගත් බව නම් නොඅනුමානය. මක්නිසාද යත් ඒ වූ අපූර්ව සහෘදයා බොහෝ නිහතමානී අයෙකු බව මා හොඳින්ම දන්නා බැවිණි....

අප එදිනෙදා භාවිතවනන භාෂාවේ ඇති වැරදි පිළිබඳ මනා පැහැදිලි කිරීමක් http://ar-si.blogspot.com/ හි ඇතිබව මතක් කරමි.

Wednesday, June 22, 2011

කාර්යාල වේලාව හා බස් රථය

අද රාජකාරී ස්ථානයට පැමිණියේ මීට ස්වල්ප මොහොතකට පෙරය. ඒ නිසාම මේ සටහන තබන්නට සිතුවෙමි. උදෑසනම කල්මුණේ දක්වා දිවෙන බසය පැමිණෙන තෙක් මග රැක සිටි මා හට කාර්යාල සේවකයන් සඳහාම වූ බස් රථය මඟහැරුනේ කසේද යන්න ප්‍රශ්නයක් විය.

රජයේ සේවයේ යෙදෙන වැඩි පිරිසක් මෙම බස් රථයෙන් තම ගමනාන්තය ලබා ගන්නා බැවින් ඔවුන්ගේ මුහුණු වල වූයේ කලකිරුණු හා කෝපය මුසුවූ හැඟීමක් බව බලන ඕනෑම කෙනෙකුට අවබෝධවේ. මේ අතරේ නහර කාරයෙකු සේ හංවඩු ගැසුණු මා දෙස වරින් වර ඔවුන්ගේ දෑස් යොමුවන අයුරු මා දිටිමි.

දකින දේ ඒ ලෙසින්ම පිළිගන්නවට වඩා එහි ඇති යමක් වෙනස් විදිහට දකින්න යැයි යන ඔවදන face book ඔස්සේ හමුවූ අපූරුතම සහෘදයෙකු වූ අනුරුද්ධ අයියා, තම බිත්තියේ සරසන පින්තූර වලින් මා උගත් දෙයකි. එනිසාම මම අද කිසිවක් නොකියා බසයට ගොඩවූයේ එහි සිටියවුන් පිටසක්වල ජිවියෙකු බසයට ගොඩවූ විට හෙලන බැල්මත් සිනාවකින් පිළිගනිමිනි.

කාර්යාල බසය පැමිණියේ උදෑසන 09ත් පසුවීය. ඇත්තටම කෝප වියයුතු කරුණක් වුවත් මා රියැදුරු වෙත කිසිවක් නොපැවසුවේ ඊට විනාඩි කිහිපයකට කලින් ගමන් කල ප්‍රයිවෙට් බස‍යේ කොලුවා විසින් නිශාන්තයා දැන්ම එන්නේ නෑ සර්.... අන්න මම දීපු බුලත් විට කනවා කියා සිනාසෙමින් ඔලොක්කුවට සේ පැවසූ නිසාවෙනි.

නමුත් මහත් සේ කාර්යාල සේවිකාවන්ට මිතුරෙකුව ඇති නිශාන්ත ඇවිත් පැවසූවේ තම රථයේ දෝෂ කිහිපයක්ම ඇති බවය. ගමන ඇරඹූ පසු යකා දුම්මල වරම අතට ගත්තාක් මෙන් තම රිය පැදවූ ඔහු එකවරම වේගය 20 kmph කට පමණ  අඩුකල විට සියල්ලෝම ඉදිරිපස වීදුරුවෙන් මාර්ගයේ ඉදිරියට තම නෙත් යොමු කරන විට සමහරු තම අසුන් වලින් නැගිට සිදුවූයේ කුමකුදැයි බැලීය...... කිසිවක් නොවේ මා පෙරදී සඳහන් කල ප්‍රයිවෙට් බස් එක මීටර කිහිපයක් ඉදිරියෙන් ගමන් කරයි.

තුෂ්නිම් භූත වූ සියල්ලෝම එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. සමහරු කණට නෑසෙන සේ කුසු කුසු ගාමින් බැණ වදිනු යාන්තමින් මට ඇසුණි. බසය ඉස්සර කිරීමට අනේකවර අවස්ථාව පැමිණියත් එතෙක් මාරු වූ ගියර් පද්ධතියේ දෝෂයක් ක්ෂණිකව පැමිණි බව හඟවමින් low ගියරයක් සඳහා රියැදුරු මාරුවිය.

මෙවැනි සිදුවීම් නිසා මම හුඟාක් මගේ ලේ පුච්චා ගෙන ඇත්තෙමි.... රටක් හදන්න තනි පුද්ගලයෙකුට හැකියාවක් නැත. මුලින්ම මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුකල යුතුමය. එය කිරීමට අප කිසිවෙකු සූදානම් වී නොමැති බව හැම දිනකම උදෑසන බසයේදී මා අවබෝධ කරගත් දෙයකි. බසයතුල සිදුවන විවිධ දේ තුලින් මම මාගේ ජීවිතය හරි මාර්ගයට ගන්නට උත්සහ කරමි.

මූට බස් එකේ වෙන දේවල් මිසක් වෙන මොකක්වත් පේන්න නැද්දැ...? යැයි කෙනෙකුට ඇසිය හැක. ඇත්තටම බසය තුල පැය දෙකක් පමණ ගමන් ගන්නා නිසා විවිධ වූ මිනිසුන්ගෙන් සැකසුනු, විවිධ වූ සමාජ ක්‍රමයන් සහිත රටක් කෙසේනම් එක් ධජයක්, එකම ජාතික ගීයක්, මුළු රටටම එකම නීති පද්ධතියක් ගෙන ඒමට හැකි වන්නේ කවදාද...?

Friday, June 17, 2011

වෙනසක් කරන්න

සමීපතම සහෘදයෙක් වන දසුන් අයියාගෙන් පුංචි ඔවදන් ටිකක් ලැබුණා.

මට මාගේ සේවක මඩුල්ල සඳහා අධ්‍යයන වැඩමුලුවක් පවත්වන්න නියමිතව තිබෙනවා, ඉතිං ඒකට ලෑස්ති වෙන්න ඕන කරන දෙවල් ටිකකට සහය මම ඉස්සෙල්ලම ඉල්ලුවේ දසුන් අයියාගෙන්.

ලැබුණේ මෙච්චරයි...... හැමදාම ඉල්ලන විදිහට දෙන්න එපා.... වෙනසක් ඇති කරන්න, බැරිවුනත් උත්සහ කරන්න... අලුත් විදිහකට හිතන්න...........

ඇත්තටම ස්තූතිය අයියේ මටත් අලුතින් වෙනස් විදිහට හිතන්න ඉඩක් පෙන්නුවට......

Thursday, June 16, 2011

බසයේ සීනුව....


අධ්‍යාපනයේ ඇති අඩුවක්ද...? එසේ නැතිනම් මේ ඔවුන් පුරුදුවී ඇති ආකාරයද යන්න දන්නේ ඔවුන් අදහන දෙවියන්ම පමණි.

කතාව කෙටියෙන් මෙහෙමයි..... බස් රථයක සීනුවක් ඇත, එය ඇත්තකි. සීනුව නාද කල යුත්තේ තමාගේ නැවතුමට ආසන්න අවස්ථාවේදීය... එහෙත් මේ සම්මන්තුරෙයි ප්‍රදේශයේ වැසියන් සිව්දෙනෙකු බසයෙන් බසිනවා නම් ඔවුන් සිව්දෙනාම සීනුව නාද කරයි.

සවස විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් හා ශිෂ්‍යයන් විශාල පිරිසක් කාර්තිව් සිට සම්මන්තුරෙයි දක්වා පැමිණෙති. ඔවුන්ට බසයෙන් බසින්නට බස් නැවතුමක් නැත, කොහොමත් මුන් තනි තනිව නොව කල්ලි ගැසී ගමන් කිරීමට පුරුදු වූ අය වෙති (කෑමට ගන්නා දේ නිසා එසේ විය හැක). ඉතිං එකෙකුගේ සීනුව නාද වීමත් සමග බසින්නේ 10 දෙනාද දහවතාවක් මේ සීනුව නාද වේ.

මොවුන් ඉගෙන ගන්නා දේ කුමක්ද...? කොපමණ උගතුන් වූවත් සමාජයේ ජීවත්වීමට නොදන්නා පිරිසක් මෙහි වෙසෙති. ඇත්තටම මෙය ඔවුනගේ සමාජ ක්‍රමයෙන් ඔවුනට ආවේණික වන දෙයකි. කිසිදු ජගතෙකුට මේ පුංචි මක්කම නිසි පරිදි විනය ගරුක අයවලුන් වෙසෙන ජන භූමියක් කල නොහැකි බව නම් කිව යුතුමය.