Monday, July 18, 2011

පාසැල් නිල ඇඳුම සහ කර පටිය

අපේ රටේ පාසැල් නිල ඇඳුම සඳහා විවිධ මාදිලියේ මෝස්තර සහිත නිල ඇඳුම් ඇති බව අපි දනිමු.

එය මෙසේ යැයි කීමට නොහැකි ලෙසින් විවිධතාවලින් යුතු ඒවා නිසාත් මේ ගැන මීට වඩා සිතිය යුතුයැයි හැඟුන හෙයින් මෙසේ සටහනක් තබමි.

මාගේ උපන් ගම් පියසේ සිංහල ද්‍රවිඩ හා ඉස්ලාම් කිතුනු යන සියලුම ජාතීන් වාසය කරන හෙයින් ඔවුන් සියල්ලන් වෙනුවෙන්ම වෙනම විද්‍යාල පද්ධතියක්ද ඇත. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සඳහා අම්පාර නගරය තුල සිංහල විද්‍යාල පිහිටුවා ඇති අතර, දමිළ හා මුස්ලිම් යන දෙකොටසට වෙනම විද්‍යාල ඇත. සිංහල විද්‍යාලවල සිසුන් සඳහා පාසැල් කරපටියක් නොමැති අතර විශේෂ අවස්ථා වලදී ඔවුන් හුවමාරු සංකල්පයෙන් එය භාවිතා කරනු දැක ඇත්තෙමි.

එනමුත් ද්‍රවිඩ හා මුස්ලිම් විද්‍යාලවල සිසු සිසුවියන් දෙපාර්ශවයම මෙම කරපටිය පලඳිති. මෙම ප්‍රදේශයට උචිතව මෙම පාසැල් නිල ඇඳුම සැකසුවා නම් ඉතා වටිනා දෙයක් වේයැයි සිතමි. කරපටියක් පලඳා පාසැල් කටයුතු සිදු කිරීමට තරම් උචිත කාලගුණයක් මේ ප්‍රදේශයේ නොපවතී. එමෙන්ම පාසැල් නිල ඇඳුමේ අනිවාර්යය අංගයක් වන සපත්තු කූට්ටම මෙම ළමුන් භාවිතා නොකරති. සෙරෙප්පු යුගලට කරපටියක් සහිතව පාසැල් යන ළමුන් පිරිසක් සෑම සතියේ දිනකම දකින මා හට එහි ඇති පිළිකුල් බව නිසාම මෙය ලිවීමට හේතුවිය.

පාසැල් ගේට්ටුව අසල සිටින ශිෂ්‍ය නායකයන් යැයි සිතිය හැකි ළමුන් ද එලෙසින්ම සිටීම නිසා මෙය පාසැ‍ලේ විනය පද්ධතියට එතරම් බලපෑමක් ඇතිකර නැති අංගයක් සේ හැඟේ. මෙලෙස විනය ගැන සැලකිල්ලක් නොදක්වා උගත ඇතැමෙක් අද මේ ප්‍රදේශයේම ඉංජිනේරුවන් ලෙස සේවය කරති. ප්‍රශ්නය ඔබට පැහැදිලි වෙතැයි සිතමි..... ඔවුන් තම කාර්යාලයට පැමිණෙන්නේ සෙරෙප්පු කූට්ටමට කර පටිය යොදා යැයි කිව්වොත් පිළිගන්නවාද...?

මූලික අධ්‍යාපනය මගින් මෙම චර්යා ධර්ම වර්ධන කර ගැනීමට පිටුවහලක් වුවත්, අදටත් පාලකයන් කිසිවෙකුත් මේ පිළිබඳව තම අවධානය යොමුකර ඇති තරම ගැනනම් සෑහීමකට පත්විය නොහැක. පාසැලකින් බිහිවන්නේ කවුරුන්දැයි අපට පෙරතියා කිව නොහැකිය, එය සැබෑවකි... ඒත් යම් විනයක් ඇතිව අඩුම තරමේ පාසැල් නිල ඇඳුමවත් ඇන්දානම් අද විශිෂ්ටයන් වූ ඔවුන් අඳින පලඳින පිළිවෙත වෙනස් කරගනු ඇත.

Wednesday, July 13, 2011

බැලුම් සීයා

අළු පැහැ අත්කොට කමිසයකින් හා ඉරි වැටුනු පිජාමා සරමකින් සැරසුනු, මුහුණ පුරා සුදුපාට රැවුල වැවුණු ඇස් ලොකු, කට පළල්, තරමක් කුදු වූ මිනිසෙකු අපේ ගේ ඉදිරිපිට නැවතී ... ආ .. චූටි බබා යැයි එකවර පැවසුවේය.. ගල්ගැසී ඒ මිනිසා දෙස බලා සිටි මා කිසිවක් නොකියා ගෙට දිවීමි. (එවකට මා 03 වන වසරේ සිටියෙමි. ) ගෙතුලට ගොස් හොරෙන් ජනේලයෙන් ඒ වයසක මිනිසා සිටි දිශාව බැලූ මට පහත් කරගත් හිසින් යුතුව ආපසු ගමන් කරනා ඒ මිනිසා දිස්විය... ඔබට කියන්න, ඒ මොහොතේ මාගේ සිතට දැණුනු දුක අදත් ඒ සිද්ධිය මතකයට නැගෙනවිට ඒ ලෙසින්ම දැනේ. අපේ ගෙදර පසුකොට ටික දුරක් ගියවිට මාගේ සමවයසේම වුන් කිහිප දෙනෙකු මේ වයසක මිනිසා වටකර ගෙන සිටිනු මා දිටීමි. සිදුවන්නේ කුමක්දැයි හරිහැටි නොපෙනෙන්නේ මා තවමත් ඒ දෙස බලා සිටින්නේ ජනේලයේ බීරළු අතරින් නිසාවෙනි....

එදා දවස එලෙස නිමවෙත්ම රාත්‍රියේ මේ මිනිසා ගැන මා මාගේ අම්මාට පැවසීමි.. ටික වේලාවක් මට සවන් දුන් ඇය, කවුරු හරි සීයා කෙනෙක් වෙන්නැති පුතේ යැයි කියමින් ඒ මාතෘකාවෙන් ඉවත්වීය. ඊට පසුදින පාසැලේදී ගමේ මාගේ සමවයස්කාරයි‍න්ගේ අත්වල බැලුම් බෝල විය.. කොහෙන්දැයි මම එකෙකුගෙන් ඇසීමි.. ඊයේ බැලුම් සීයා දුන්නේ යැයි පවසමින් ඌ තම අත වූ බැලුම මට පෙන්නුවේය.

එදින සවස මා මේ අමුත්තා එනතුරු මග රැක සිටියෙමි... හැරමිටියට වාරුවෙමින් සියා ඈතින්ම එනු පෙනේ... ලඟටම විත් චූටිබබා ඊයේ මට බයවුනාද යැයි සිනාසී ඇසුවේය. ඇත්තටම ඔහුගේ වැවුණු කොණ්ඩයත් රැවුලත් නිසා බය හිතෙන මුහුණක් මැවී පෙණුනේ ගෝනි බිල්ලෝ එනවා ඇවිත් ළමයි අරන් යනවා..... කියා මාගේ ආච්චි අමිමා හැම නිතරෙම මට පැවසූ බව මතකයට ආ නිසාවෙනි. ඒත් සීයා තමන් සතු සිනහව එලෙසින්ම මාවෙත යොමාගෙන සිටී.. හේ තම කමිස සාක්කුවට අත යොමා පුංචි ග්‍රොසරි බෑගයක වූ නාරං බික් 04ක් මට දිගු කළේය. (දැන්නම් මේ සීනි බෝල නාරං බික් දකින්නත් නැත) සීයාට සිනහවී එය අතට ගත් මා වෙත ලං වූ ඔහු මාගේ හිස අත ගා හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න ඕන හොඳද.. යැයි පවසමින් පාරේ ඉදිරියට ගියේය.. මා පමණක් නොවේ සීයා එනතෙක් මග රැක සිටි මුළු බළඇණියම සීයා වටකර ගෙන කෑ කෝ ගසති...

මේ ක්‍රියා වලිය හැම සතියකම සිදුවූ අතර, සීයා අපේ ගම් මැද්දෙන් නොගියේ බොහෝ කලාතුරකිනි. මේ වනවිට මේ අපූරු මිනිසාට අප මහත් සේ ආදරය කළෙමු. ඔහුත් අපට එලෙසින්මය. ඔහුට නම පට බැඳුනේ බැලුම් සීයා නමිනි.

දින සති මාස අවුරුදු ගෙවී අප නැවතුනේ 11 වන වසරේය.. දැන් ඉතිං කරන්නේ අමන කම් මිසක් වැඩකට ඇති දේවල් නොවේ... මේ කාල පරාසයේත් මේ සීයා අපේ ගම් මැද්දේ හවසට ගමන් කිරීම හැමදාම සිදුවිය.. ඒ අතර ගමේ සිටින ප්‍රවෘත්ති නිවේදිකාවන් මේ සීයා ගැන නොයෙකුත් ප්‍රවෘත්ති පතුරුවා තිබුණෝය. ඒවා සමහරක් පහත් ගණයේ ඒවා වුණු අතර, පුංචි එවුන් සීයාට ලංවීම වැලැක් වීමට ගැහැණු මහත් වෙහෙසක් දැරූ අයුරු අදත් සිහියට නැගේ.. මේ ආරංචි කණ වැකුණායිනදෝ සීයාගේ සවස ගමන සතියකට එක් වරක් පමණක් සිදුවීමත් සමග සීයාගේ පළමු බළ ඇණියේ සාමාජිකයින් වූ අප කිහිප දෙනෙකු සීයා සිටි රජවැව ඉස්මත්තට ගියෙමු... අදටත් මාගේ දෙමව්පියන් මම මේ වැව් ඉස්මත්තට ගිය බවක් නොදනී... ඔවුන් මට මහත් සේ ආදරය රැකවරණය දැක්වූවෝය.... කළේ වැරැද්දක් බව දන්නා නිසා එය අද මෙලෙස මෙතන සටහන් තබන තෙක් මාගේ පණුවන් රැළ හැරෙන්නට කිසිවෙකුත් දන්නේ නැත......

වැව් ඉස්මත්තේ ගල් පර්වත ලඟ සීයා ඉන්නා බව මුළු අම්පාරම දනී.. බැලුම් සීයා එච්චරට ප්‍රසිද්ධය... කරදඬු උස් මහත් වුවත් සීයා එනතෙක් මග බැලීමට අප නිරායාසයෙන් පුරුදු වී සිටියෙමු... සීයාට අසනීපව ඇති බව ඇතදීම වටහාගත් අපි රජවැව ගමේ අයියලා කිහිප දෙනෙකුගේම සහය ඇතිව සීයා රෝහල් ගත කළෙමු... පුදුමයකි, ටික වේලාවක් යන විට මාගේ වයසේ කොල්ලන්ම පමණක් 75ක පමණ රොත්තක් රෝහල් භූමිය ආක්‍රමණය කර අවසන්ය.. ඒ සියල්ලෝම සීයාගේ ආදරය ඔවදන් ලත් අයවලුන් වෙති.. රෝහල් කාර්යය මණුඩලයද අපට ඉමහත් දායකත්වයක් දැක්වූයේ ඔවුන්ද මේ සීයා ගැන අසා ඇත්තවුන් පමණක් වූ නිසාවෙණි...

දින කිහිපයක් රෝහල් ගතව සිටි සීයාට දැන් සම්පූර්ණ සුවය ලැබී ඇත... දින කිහිපයක් නිරාහාරව සිටි නිසා මෙසේ වන්නට ඇතැයි යන වෛද්‍ය නිගමනය ඒ අස්සේ අපේ කණ ගාවින් එහෙට මෙහෙට යනවිට අපට වයසින් වැඩි එකෙකු අපි සීයාව වැඩිහිටි නිවාසයට භාරදෙමු යැයි යෝජනාවක් කළේය.. 250කට ආසන්න බළ ඇණියක් ඒ වන විටත් අප සමගය.. සීයා ඒ පිළිබඳව මුරණ්ඩු තීරණයක් දැක්වූවත් ඡන්දය වැඩි නිසා ඔහුට එම නිවහනම තෝරා ගැනීමට සිදුවිය.. දින දෙක තුනක් යනතෙක් සීයා ලඟ සිටීමට කිහිප දෙනෙකු සාකච්ඡා කර ගත්තෝය...

සා.පෙ. විභාගය නිසා අපට සීයා සමග කතාබහ කරන්නට තිබූ ඉඩකඩ සීමා විය.. පාසල ආසන්නයේම වැඩිහිටි නිවාසය පිහිටි නිසා අපට මහත් පහසුවක් වුයේ සීයා බැලීමට වෙනම වේලාවක් සකසා ගැනීමට අවශ්‍ය නොවූ හෙයිනි...

ඇස් පෙනීම දුර්වල බව වෛද්‍යවරයා අපට පැවුසුවේය.. ඒත් සීයා ගේ ඇසීම මහත් ප්‍රබලවිය.. නොපෙනුනත් කටහඬින් ඕනෑම අයෙකු තමා යෙදූ සුරතල් නාමයෙන් ආමන්ත්‍රනය කිරීමට හේ මහත් හපනෙකු විය..

විභාගය අවසන්වත්ම ගමින් බැහැරවූ මා 2000 වර්ෂයේ මැයි මාසයේ නිවසින් ලැබුණු ඇමතුමත් සමගම නැවත අම්පාරට ආවෙමි.. හිතවත්ම අයෙකු අපෙන් වෙන්ව ඇත... ඒ බැලුම් සීයා යි.... මුළු වැඩිහිටි නිවාසයම සම වයසේ අයවලුන්ගෙන් පීරි ගොස් ඇත.... එදින ඇතිවූ ඒ හැඟීම විස්තර කිරීමට අපහසුය...

පසු සටහන -

සීයා ගේ විස්තර කොපමණ ඇසුවත් සීයා තම දරුව්නගේ විස්තර කිසිවක් අපට නොකිව්වේය.. හේ ත්‍රෛ භාෂා විශාරදයෙකු යැයි කීවාට වරදක් නැත.. දිනෙක මාගේ ඉංග්‍රීසි රචනාවක වූ වැරදි සියල්ල මට විස්තර කර දුන්නේ ඉංග්‍රීසි බසින්මය.. එය මට නොතේරුණු බව දැනගත් හෙතෙම නොතේරුණු තැන් සියල්ල මා වෙත නැවත පහදා දුන්නේ දයාබර පියෙකු ලෙසිනි..

ඔහුගේ බිරිඳට මහත් සේ ආදරය දැක් වූ බවත් පැවසිය යුතුමය..  ඇය මෙලොව නැති බවත් අපට පවසා තිබුණි. අප දන්නේ එපමණකි.

ඔහුගේ නුවණ හැටියට ඔහුටද නුවණැති දරුවන් සිටිය යුතුමය.. ඔවුන් ඉහල තලයේ වැජඹෙන වුන් විය යුතුමය..

ඒත් සීයා අවසන් ගමන් ගියේ වැඩිහිටි නිවසක සිටය... තමා ගේ ලෙයින් වැඩුවවුන් නොවුනත් අවසන් ගමනේදීවත් එකදු පියවරක් සීයාට අවමංගල්‍ය රථයකින් යෑමට අවශ්‍යවූයේ නැත... ඒ තරම් දරුවන් පිරිසක් ඔහු ඒ වනවිටත් දායාද කරගෙන සිටියේය. උ.පෙ. අවසානයේ සිටි අපට වැඩිමහලු විශ්ව විද්‍යාලයට ගොස් සිටියවුන් පැමිණ සිටියේ තම මිතුරු කැලද කැටුවය.. ඔවුන් පිටගම්කාරයෝ වූහ.. උන් පැමිණ තිබුණේ අපේ ගම් පියසෙන් ගිය එකා මේ බැලුම් සීයාගේ කතාව ඒ සියල්ලන්ටම පවසා තිබූ නිසාය..... ඔබට සිතා ගන්නට පුලුවන් වේවි එදා එතන සිටි පිරිසේ තරම...

තම අතට කවුරුන් හෝ දුන් මුදලින් කුස පුරවා නොගත් ඔහු අනාගතයේ පිපෙන්නට සැරසෙන මල් කැකුළු තව තවත් සුවඳවත් කරන්නට දැක්වූ උපක්‍රමය අපූරුය.. තමා දෙස බලන්න.. එසේ තම දෙමාපියන්ට නොකරන්න කියා නොකීවද, සීයා හැම නිතරෙම අවවාද කලේ... දරුවනේ දෙමව්පියන් තමා උඹලගේ ධනය...යනුවෙනි.

බැලුම් සීයා හා බැඳුනු කතාව සදා නොමියෙනු ඇත.........



 

Tuesday, July 12, 2011

වැරැද්ද...

හරි වැරැද්ද තොරාගත යුතුමය. එලෙස බෙදා වෙන්කර ගත්තායින් පසුව එය අපට අවශ්‍ය ආකාරයට යොදා ගත හැකිය...

මේ blog කලාවට ආධුනිකයෙකු වන මා, මාගේ සටහන් පත් සකස් කරද්දී යම් වැරැද්දක් සිදුකර ඇතිදැයි යන්න නිරන්තරයෙන් සොයා බලමි. මොකද මෙය කියවන පිරිස අතර සිටින්නේ මාගේ දයාබර බිරිඳ හා මා පමණි. සිතේ ඇතිවන යම් හැල හැප්පීම් සමූහයක සිද්ධි වලින් කොටසක් පමණක් (තදින්ම හිතට දැණුන) මෙහි ලියා තැබීමට මා උත්සාහ කරමි.

මෙය හුදෙක්ම හුදකලා වූ තැනැකැයි මට සිතෙන්නේ ඇයිදැයි යන්න විටෙක මටම  ප්‍රශ්නයකි. තවත් වරෙක මොනව ලියුවහම මොකද කියවන්නේ මමයි, මගේ දුර්වලකම්, මගේ වැරදි ගැන හැම නිතරෙම මට අවවාද දෙන මගේ දයාබර බිරිඳත් විතර නම්, ... ඇත්තටම මා මෙය යොදාගන්නේ මා ලද අත්දැකීමක් තවෙකෙකු හා බෙදා ගැනීමට පමණකි... ගතහැකි යමක් ඇත්නම්  ඒ දේ ඔවුනටද ගැනීමට ඉඩකඩ සලස්වමිනි.

විචාර ගෙන එන්න තරමේ දැනුමක් මා සතුව නැත. එනිසා එදි‍නෙදා සිදුවන සිද්ධි දාමයන්ගේ ඇති හොඳ නරක මෙහි ලියා තබන්නට මම උත්සහ කරමි... කෙදිනකවත් දින පොතක් එකාකාරව ලියන්නට මා හට නොහැකි වුණි.. එසේ කලත් මා නැති විටෙක එය අම්මා හොරෙන් හෝ බලන බව මට හැඟීගිය නිසා මා ඒ කර්තව්‍ය පැත්තකින්ම තැබුවේ ලියන දෙයක් මාට්ටු වුවහොත් ගෙදර නොමිලේ දෙන කෑම ටිකත් නැතිවන නිසාවෙනි.

මෙය අවශ්‍ය ඕනෑම අයෙකුට විවෘතය.. ලිවිය යුතු දේ ගැන පමණක් පැහැදිලි අවධානයක් අයිතිකරු සතුවිය යුතුය.

මාගේ දවස ඇරඹුමේ සිටම මා ජීවත් වන්නේ පරිගණකය අසලමය.. විටෙක බිරිඳ පැත්තකට වී මා දෙස බලාගත්වනම බලා සිටින්නේ මා දෙසවත් මේ මෝඩ මිනිසා මේ තරම් වේලාවක් බලා සිටීද...? යන නෝක්කාඩුවත්, දුකත් හිතේ රුවාගෙන බව දැන් නම් සිතේ...

සිදුවීම් මහා ගොඩක් තිබුණත් අපි ගතයුතු දේ පමණක් උකහා ගැනීම කල යුතුය... අද දිනයේදීත් යමක් උගත්තේ යැයි මා සතුටු වෙමි... ඒ ඉන්ද්‍රනාතයන්ගේ මුහුණු පොතේ (face book) බිත්තියේ තිබූ හකාවතී නම් රේඛාවේ ටික වේලාවක් සක්මන් කල නිසාවෙනි.. (http://teraki.blogspot.com/2009/10/blog-post_12.html)

Saturday, July 9, 2011

කට....

ඊයේ දිනයේ අම්පාරට තරමක වැස්සක් කඩා පාත්විය.. තිබුණු දූවිලි සුවඳ තවමත් දැනෙනවා වාගෙයි.. වැස්සේ තෙමෙන්නට ඉමහත් ආශාවක් දක්වන තාමත් පුංචි කෙලිපැට්ක්කියක් සේ දඟකාරකම් කරන මාගේ ප්‍රියම්භිකාව දෙසට තරමක ගෙරවුමක් හෙලීමට සිදුවූයේ, වැස්ස ඇරඹුනා පමණි විදුලි වේගයෙන් ඇය නැවතුනේ ඉදිරිපස ඉස්තෝප්පුවේ වූ නිසා වෙනි.

මාගේ ගෙරවීමට නොදෙවෙනි ගිගුරුමක් මා වෙත හෙලමින් ගේ තුලට ගිය ඇය තරමක වේලාවක් කිසිදු වචනයක් නොදොඩා සිටියේ දුකට විය හැකිය.. ඒත් ඉඳලා ඉඳලා වහින වැස්සට තෙමෙන්න එපා යැයි මාගේ ආච්චි අම්මා මාගේ පාසැල් කාලයේ කියූ වාර ගණන අනන්තය. එය නොඅසා වැස්සේ තෙමී මා විඳවූ වාර ගණනද ඊට සමානය.

ඊයේ රාත්‍රියේ අපේ අම්මා ගෙදර සඳහා වන බිල්පත් සඳහා මුදල් සකසනු දුටිමි. ඇයගේ අතෙහි වූ ජලබිල් පත දෙස මාගේ ඇසත් සමගම මුවද විවෘත වූයේ ක්ෂණයෙනි.. අද වැස්ස නිසා හෙට බිල් ගෙවනවද අම්මේ යැයි අසන්නට සිත්වුවත්, යමක් කීමට සකසා ගත් මාගේ කට සිනහවකින් අවසන් කර එතැනින් ඉවත් වූයෙමි...