Wednesday, June 22, 2011

කාර්යාල වේලාව හා බස් රථය

අද රාජකාරී ස්ථානයට පැමිණියේ මීට ස්වල්ප මොහොතකට පෙරය. ඒ නිසාම මේ සටහන තබන්නට සිතුවෙමි. උදෑසනම කල්මුණේ දක්වා දිවෙන බසය පැමිණෙන තෙක් මග රැක සිටි මා හට කාර්යාල සේවකයන් සඳහාම වූ බස් රථය මඟහැරුනේ කසේද යන්න ප්‍රශ්නයක් විය.

රජයේ සේවයේ යෙදෙන වැඩි පිරිසක් මෙම බස් රථයෙන් තම ගමනාන්තය ලබා ගන්නා බැවින් ඔවුන්ගේ මුහුණු වල වූයේ කලකිරුණු හා කෝපය මුසුවූ හැඟීමක් බව බලන ඕනෑම කෙනෙකුට අවබෝධවේ. මේ අතරේ නහර කාරයෙකු සේ හංවඩු ගැසුණු මා දෙස වරින් වර ඔවුන්ගේ දෑස් යොමුවන අයුරු මා දිටිමි.

දකින දේ ඒ ලෙසින්ම පිළිගන්නවට වඩා එහි ඇති යමක් වෙනස් විදිහට දකින්න යැයි යන ඔවදන face book ඔස්සේ හමුවූ අපූරුතම සහෘදයෙකු වූ අනුරුද්ධ අයියා, තම බිත්තියේ සරසන පින්තූර වලින් මා උගත් දෙයකි. එනිසාම මම අද කිසිවක් නොකියා බසයට ගොඩවූයේ එහි සිටියවුන් පිටසක්වල ජිවියෙකු බසයට ගොඩවූ විට හෙලන බැල්මත් සිනාවකින් පිළිගනිමිනි.

කාර්යාල බසය පැමිණියේ උදෑසන 09ත් පසුවීය. ඇත්තටම කෝප වියයුතු කරුණක් වුවත් මා රියැදුරු වෙත කිසිවක් නොපැවසුවේ ඊට විනාඩි කිහිපයකට කලින් ගමන් කල ප්‍රයිවෙට් බස‍යේ කොලුවා විසින් නිශාන්තයා දැන්ම එන්නේ නෑ සර්.... අන්න මම දීපු බුලත් විට කනවා කියා සිනාසෙමින් ඔලොක්කුවට සේ පැවසූ නිසාවෙනි.

නමුත් මහත් සේ කාර්යාල සේවිකාවන්ට මිතුරෙකුව ඇති නිශාන්ත ඇවිත් පැවසූවේ තම රථයේ දෝෂ කිහිපයක්ම ඇති බවය. ගමන ඇරඹූ පසු යකා දුම්මල වරම අතට ගත්තාක් මෙන් තම රිය පැදවූ ඔහු එකවරම වේගය 20 kmph කට පමණ  අඩුකල විට සියල්ලෝම ඉදිරිපස වීදුරුවෙන් මාර්ගයේ ඉදිරියට තම නෙත් යොමු කරන විට සමහරු තම අසුන් වලින් නැගිට සිදුවූයේ කුමකුදැයි බැලීය...... කිසිවක් නොවේ මා පෙරදී සඳහන් කල ප්‍රයිවෙට් බස් එක මීටර කිහිපයක් ඉදිරියෙන් ගමන් කරයි.

තුෂ්නිම් භූත වූ සියල්ලෝම එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. සමහරු කණට නෑසෙන සේ කුසු කුසු ගාමින් බැණ වදිනු යාන්තමින් මට ඇසුණි. බසය ඉස්සර කිරීමට අනේකවර අවස්ථාව පැමිණියත් එතෙක් මාරු වූ ගියර් පද්ධතියේ දෝෂයක් ක්ෂණිකව පැමිණි බව හඟවමින් low ගියරයක් සඳහා රියැදුරු මාරුවිය.

මෙවැනි සිදුවීම් නිසා මම හුඟාක් මගේ ලේ පුච්චා ගෙන ඇත්තෙමි.... රටක් හදන්න තනි පුද්ගලයෙකුට හැකියාවක් නැත. මුලින්ම මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුකල යුතුමය. එය කිරීමට අප කිසිවෙකු සූදානම් වී නොමැති බව හැම දිනකම උදෑසන බසයේදී මා අවබෝධ කරගත් දෙයකි. බසයතුල සිදුවන විවිධ දේ තුලින් මම මාගේ ජීවිතය හරි මාර්ගයට ගන්නට උත්සහ කරමි.

මූට බස් එකේ වෙන දේවල් මිසක් වෙන මොකක්වත් පේන්න නැද්දැ...? යැයි කෙනෙකුට ඇසිය හැක. ඇත්තටම බසය තුල පැය දෙකක් පමණ ගමන් ගන්නා නිසා විවිධ වූ මිනිසුන්ගෙන් සැකසුනු, විවිධ වූ සමාජ ක්‍රමයන් සහිත රටක් කෙසේනම් එක් ධජයක්, එකම ජාතික ගීයක්, මුළු රටටම එකම නීති පද්ධතියක් ගෙන ඒමට හැකි වන්නේ කවදාද...?

No comments:

Post a Comment